පොප් ගී රැජිණ මැඩෝනා දුක් කම්කටොළු මැද ජීවිතය ජයගත් හැටි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මැඩෝනා ලුයිස් සිකෝනි නම ඉදිරියේ ඇය ගැන කියැවෙන්නේ ගායිකාවකි, ගීත රචිකාවියකි, නර්තන ශිල්පිනියකි, රංගන ශිල්පිනියකි, නිෂ්පාදිකාවකි, අධ්‍යක්ෂවරියකි, ග්‍රන්ථ රචිකාවියකි, ව්‍යාපාරික කාන්තාවකි යනුවෙනි. මැඩෝනා යනු සැබැවින්ම අසහාය චරිතයකි

මැඩෝනා ලුයිස් සිකෝනි, උපන්නේ 1958 අගෝස්තු 16 වැනිදා ඇමරිකාවේ මිචිගන් හි බේ සිටි හිදී කතෝලික පවුලකට අයත්වය. ඇයට වැඩිමල් සහෝදරයින් දෙදෙනෙකි. ඔවුන් ඇන්තනි සහ මාටින් ය. පෝලා, ක්‍රිස්ටෝෆර් සහ මෙලනි බාල සහෝදරියන්ය. මැඩෝනාගේ පියා වූ ටෝනි සිකෝනිගේ පරපුර ඉතාලි සම්භවයකින් පැවත එන අතර මවගේ පරපුර ප්‍රංශ සහ කැනේඩියානු සම්භවයකට අයත් වේ. ටෝනි සිකෝනි ක්‍රයිස්ලර් සහ ජෙනරල් මෝටර්ස් ආයතනවල සේවය කළේය. මැඩෝනා හට පවුලේ අය කතා කළේ ‘ලිට්ල් නෝනි’ යන ආදරණීය නාමයෙනි. එය ඇයට ලැබුණේ ඇයගේ මවගේ ඥාතීන්ගෙනි. පවුලේ ආදරය ලබමින් සිටි මේ පුංචි නෝනි මවට බෙහෙවින් සමීපව සිටි දැරියක වූවාය. එවකට මැඩෝනා පසුවූයේ පස් හැවිරිදි වියේය. කුඩා දැරියක වුවද, මවගේ හැසිරීම් රටාව එක්වර වෙනස් වූ නිසා පුංචි මැඩෝනා දැරිය හට එය තේරුම් ගත හැකිවිය.
 
‘ඇයි අම්මෙ මොකද මේ? මොකක්ද ඔයාට වෙලා තියෙන්නෙ?’ පුංචි නෝනි මවගෙන් එලෙසින් ඇසූ සෑම අවස්ථාවකදීම මව කළේ ඊට පිළිතුරු දීම වෙනුවට හැඬීමය. ඇය කඳුළු සඟවා ගන්නට උත්සාහ කළද පුංචි දියණිය හමුවේ නිරුත්තර වී හැඬීම කළාය.
 
‘මම කොහොමද තව ටික දවසකින් මම මැරෙන බව මගේ පුංචි සුරංගනාවියට කියන්නෙ.’
 
මැඩෝනාගේ මව තමාටම කොඳුරා ගත්තේ එලෙසිනි. ඇය හට පියයුරු පිළිකාවක් වැළඳී තිබිණි. එය දරුණු තත්ත්වයකට හැරී අවසන ඇයට ජීවිතයෙන් සමුගැන්මට සිදුවූයේ තුරුණු වියේදීමය. 1963 දෙසැම්බර් 1 වැනිදා මැඩෝනාගේ මව ජීවිතයට සදහටම සමුදුන්නාය. ඒ වන විට ඇය පසුවූයේ තිස් හැවිරිදි වියේය.
 
මවගේ වියෝව පුංචි නෝනි හෙවත් මැඩෝනා හට ගෙන දුන්නේ දැඩි කම්පනයකි. මව නැතිව පියා ළඟ නිදා ගැනීමට පවා ඇය අකමැති වූවාය. ආච්චි අම්මා සමග කාලය ගත කිරීම ඇයගේ සිරිතක් විය. මේ අතරවාරයේදී පාසල් ජීවිතය ඇරඹි මැඩෝනා මූලික අධ්‍යාපනය ලැබුවේ ශාන්ත ​ෆ්‍රෙඩ්රික්ස් සහ ශාන්ත ඇන්ඩෲ යන කතෝලික පාසල් වෙතිනි. අයියලා දෙදෙනා සහ නැගණිය වූ පුංචි මැඩෝනා මව හට දැඩි ලෙස ආදරය කළ නිසා ඔවුනගේ පියා මවගේ මරණින් පසුව වෙනත් කාන්තාවක හා විවාහ වනවාට අකමැත්ත ප්‍රකාශ කර සිටියහ. කෙසේ වෙතත් නිවස බලා කියා ගනිමින් වැඩට ආ සේවිකාවක වූ ජොආන් ගුඩ්ටෙෆ්සන් සමග පියා නැවත විවාහ වුණි. මැඩෝනා ඊට තදින්ම විරුද්ධ වූවාය. මවගේ තැන ඒ ගෙදර වෙනකෙකු ගැනීම ගැන ඇය පසුවූයේ බලවත් කලකිරීමකය. පාසලේදී මැඩෝනා හැසිරුණේ අනෙක් ගැහැනු ළමුන් මෙන් නම් නොවුණි. ඩෙස්ක් උඩ, බංකු උඩ, තාප්ප උඩ නගිමින්, ගස්වැල්වල එල්ලෙමින්, ගත කළේ හරියට විසේකාර කොල්ලෙකු මෙනි. දිනෙක මෙසේ දුව පැන දඟලමින් සිටි මැඩෝනාගේ ගවුම උඩට ඉස්සී යට ඇඳුම දර්ශනය වීම නිසා කොල්ලන් හට එය විශේෂිත කතාබහකට මාතෘකාවක් වුණි. 

‘මේ කෙල්ල නම් යක්ෂ කෙල්ලෙක් නේද...’
 
පාසලේ කොල්ලන් ඇය ගැන කතා කළේ එලෙසිනි.
 
“මම එදා මගේ අත් බාහුවල රෝම අනෙක් ගැහැනු ළමුන් මෙන් ඉවත් කරගත්තෙ නැහැ. මේක්අප් කළෙත් නැහැ. කෙටියෙන්ම කිව්වොත් මම සාම්ප්‍රදායික ගැහැනු ළමයෙක් වුණේ නැහැ. මම විසේකාර කෙල්ලක් වුණත් දඟ වැඩ කළත්, හොඳින් ඉගෙන ගත්තා.”

පසු කලෙක ළමා විය ගැන මතකය අවදි කරමින් කියා සිටියේ එලෙසිනි.

පාසල් සමයේදී මැඩෝනාගේ පියා ටෝනි විසින් මැඩෝනා පියානෝ වාදනයට මෙන්ම බැලේ නර්තනය සඳහා යොමු කරවීමට කටයුතු කර තිබිණි. බැලේ ගුරුවරයා මැඩෝනා හට කීවේ අනාගත වෘත්තිය වෙනුවෙන් යොමුවන්නැයි කියාය. පසුව රොචෙස්ටර් ඇඩම්ස් උසස් පාසලට ඇතුළත් වී අධ්‍යාපනය කළ ඇය ඉගෙනීමට දක්ෂ වූ නිසාම ඉහළ ස්ථානයක් ලැබ සිටියාය. උපාධිය ලැබීමෙන් පසු ශිෂ්‍යත්වයක් ලැබ මිචිගන් සරසවියට ඇතූළත් වීමට මැඩෝනාට හැකිවිණි. එහිදී උතුරු කැරොලිනා හි ඩර්හැම් වෙත ගොස් ඇමරිකානු නර්තන සැණකෙළියට සම්බන්ධ වී මාස එකහමාරක පමණ පුහුණුවක්ද ලැබුවාය.

මිචිගන් සරසවිය හැරගිය මැඩෝනා 1978 දී නිව්යෝර්ක් නගරය බලා යාමට තීන්දු තීරණ ගත්තේ තමාගේම ගමනක් යාමේ අරමුණ ඇතිවය. ඇය, ඇය සතු දක්ෂතා හඳුනාගෙන සිටීම ඊට මුල් වූ හේතුව විණි. නිව්​ෙ‌යා්ර්ක් එනවිට තිබුණේ ඩොලර් 35 යි.
 
“එදා මම නිව්යෝර්ක් එන විට මගේ පොකැට්ටුවේ තිබුණේ ඩොලර් 35 ක් විතරයි. ඒ හැරත් ගුවන් යානයක ආවේ පළමු වතාවටයි. ඒ විතරක් නම් මදෑ, ටැක්සියක ගියෙත් එදා තමයි.”
 
එලෙසින් අතීතය සිහිපත් කළ ඇය නිව්යෝර්ක් වෙත පැමිණි පසු මහල් නිවසක ස්ථානයක් කුලී පදනම මත ගත් අතර, එකී නවාතැන සහ කෑම බීම වෙනුවෙන් යමක් උකහා ගැනීමට බොහෝ වෙහෙස මහන්සි වී ඇයට වැඩ කිරීමට සිදුවිණි. ‘ඩන්කින් ඩෝනට්ස්’ අවන්හලේ වේටර්වරියක ලෙස වැඩ කරමින් නර්තනය ඉගෙනීමට අවශ්‍ය මුදලක් සොයා ගැනීමට කැපවී කටයුතු කළාය. නර්තන කණ්ඩායමක් හා බැඳී සිටීම නිසා ඉන්ද මුදලක් ඇය හට ලැබුණි. ප්‍රවීණ නර්තන ගුරුවරයකු යටතේ නර්තනය ප්‍රගුණ කරමින් සිටි මැ​ඩෝනා ඒ වනවිට ස්ථාවර වී සිටි අනෙකුත් කලාකරුවන්ගේ ප්‍රසංගවලදී නර්තන ශිල්පිනියක ලෙස සහභාගි වී මුදලක් උපයා ගත්තාය.
 
එලෙසින් බැක්අප් ඩාන්සර් කෙනකු ලෙස දිනෙක පුහුණුව නිමවා නවාතැනට එමින් සිටියේ රෑ බෝවීය. එදින ඇහැට කනට පෙනෙන සුන්දර මැඩෝනා පිරිමි දෙදෙනකුගේ ග්‍රහණයට අසුවිණි.
 
“ඒ මිනිසුන් දෙන්නා උන්ගේ ආසාව වෙනුවෙන් මට කරන්න කී දේ අදටත් මට අමතක කරන්න බැහැ, ඒක හරිම පිළිකුල් සහගතයි.” මැඩෝනා පසුව ඒ ගැන සඳහන් කර තිබුණේ එලෙසිනි.
 
ඒ අනුව ඇය පැමිණියේ සුන්දර මල් මාවතක් ඔස්සේ වූ ගමනක් නොවේය. අනේකවිධ බාධකවලට මුහුණ දෙමින් නොසැලී ආ ගමනක මල්ඵල නෙළා ගැනීමට මැඩෝනා හට හැකිවූයේ 1979 න් පසුවය. සංගීතඥ ඩෑන් ගිල්රෝයි සමග පෙමින් බැඳී සිටි මැඩෝනා ඔහු සමග පැරීසිය බලා ගියේ, ප්‍රංශයේ පැට්‍රික් හර්නැන්ඩස් ඩිස්කෝ නර්තන ශිල්පියාගේ ප්‍රසංගවලට දායකවීම වෙනුවෙනි. ඉනික්බිතිව නිව්යෝර්ක් වෙත ඒමට පෙර ටියුනීෂියාවට ගියේද හර්නැන්ඩස්ගේ නර්තන කණ්ඩායමේ සාමාජිකාවක හැටියටය.
 
නැවත නිව්යෝර්ක් වෙත ආ මැඩෝනා මුදල් අගහිඟකම් හමුවේ ජීවත් වීමට තෝරාගත්තේ යුදෙව්වන් වැඳුම් පිදුම් කළ අත්හැර දමා තිබූ දේවස්ථාන ගොඩනැගිල්ලක්ය. ගිල්රෝයි ද ඇය සමග සිටියේය. දෙදෙනා එකතු වී සංගීත කණ්ඩායමක් පිහිටුවා ගත් අතර, ‘බ්‍රෙක්ෆස්ට් ක්ලබ්’ ලෙස එය නම් කර තිබිණි. එහිදී මැඩෝනා විටෙක ගායනා කළාය, තවත් විටෙක ඩ්‍රම්ස් වාදනය කළාය, තවත් විටෙක ගිටාරය වයමින් ගැයුවාය.

කොහොමටත් මැඩෝනා යනු නැටුමට, ගැයුමට සහ වාදනයට දක්ෂ ශිල්පිනියක වූවාය. ඒ අතරවාරයේදී ‘සර්ට්න් සැක්‍රිෆයිස්’ නමැති චිත්‍රපටයේ රඟපෑමට ද ඇය හට අවස්ථාව හිමිවුණි. ටික දිනකින් ‘බ්‍රෙක්ෆස්ට් ක්ලබ්’ සංගීත කණ්ඩායම හැර ගිය ඇය මිචිගන් හි ඇයගේ පෙම්වතකුව සිටි සිටෙෆන් බ්‍රේ (පෙර සංගීත කණ්ඩායමේ ඩ්‍රම්ස් වාදක) සමග අලුත් සංගීත කණ්ඩායමක් පිහිටුවා ගත්තාය. ගීත ලියමින්, නිර්මාණය කරමින් මේ දෙදෙනා නිර්මාණ කීපයක්ම කළෝය. කෙසේ වෙතත් 1980 න් පසුව මැඩෝනා තමාගේ තනි ගමනක් යාමට තීරණය කළාය. මේ ගමන දිනෙන් දින සාර්ථක කර ගැනීමට ඇයට හැකිවිණි. 1983 වනවිට ඇයගේ ප්‍රථම ගීත එකතුව සහිත ටේප් (කැසටය) නිකුත් කිරීමට ඇයට හැකිවිණි. එය නම් වූයේ ‘මැඩෝනා’ නමිනි. එක් රැයකින් ඇමරිකානුවන් ග්‍රහණය කර ගැනීමට එම ගීත එකතුව නිසා මැඩෝනා සමත් වූවාය. එලෙසින් ආ ගමනේදී ඇය මුළු මහත් ලෝකය එක් රැයකින් කැළඹුවේ, 1984 දී ‘Like a Virgin’ ගීතය සමගය. එහිදී ඇය ගයමින් ඉදිරිපත් කළ නර්තනයෙන් මුළු ලොව තාරුණ්‍යය කැළඹී ගිය බැව් සඳහන් කළ හැකිය. ඉන් පසුව ලොව පොප් ගී රැජිණ වූ මැඩෝනා 1989 වනවිට ‘Like a Prayer’ වීඩියෝවෙන් පසුව පෙප්සි ආයතනය සමග ඩොලර් මිලියන 5ක ගිවිසුමකට එක්වුණි.
 
මැඩෝනාගේ ජීවිතය ගැන විස්තර කිරීමට ගියොත්, අගක් මුලක් පරක් තෙරක් නොමැතිව විස්තර කිරීමට ඇති දේ බොහෝය. ඒ සියල්ල විස්තර කිරීමට මේ ඉඩ ප්‍රමාණවත් නොවේ. එනිසා, ඇයගේ ජීවිතයේ ලෝක තරුවක් වූ පසු විශේෂිත වූ තැන් සහ සිදුවීම් කීපයක් ගැන අපි විපරම් කර බලමු.

වත්මන් ගීත ක්ෂේත්‍රයේදී ලොව ප්‍රමුඛ ගී තරු අතරින් ගායිකාවක ලෙස ඉලෙක්ට්‍රොනික තාක්ෂණය මුසු වූ සංගීතය කරළියට ගෙන ඒමට මුල් වූයේ මැඩෝනා ය.
 
මැඩෝනා යනු විලාසිතා රැජිණකි. ඇයටම ආවේණික විලාසිතාවලින් ලොව මවිත කරවන්නීය. විටෙක ඇයගේ නිතඹ ස්පර්ශ කළ අයකු හට උසාවි යෑමට සිදුවිණි.
 
මැඩෝනාගේ True Blue ගීත ඇල්බමයේ පිටපත් මිලියන 70 ක් (කෝටි 7 ක්) අලෙවි වී තිබේ.
මැඩෝනා යනු ගිනස් වාර්තාවකට හිමිකම් දරන ශිල්පිනියකි. ලෝක සංගීත ක්ෂේත්‍රයේදී ගීත රෙකෝඩ්ස් නැතිනම් ඇල්බම මිලියන 300 ක් අලෙවි වී තිබීම නිසා ඒ ගිනස් වාර්තාව ඇය හට හිමිවිය. එය සැබැවින්ම අසමසම වාර්තාවකි. ලොව අලෙවි වූ හොඳම ඇල්බමය එයම විය.
 
Maverik යනු මැඩෝනා සතු ව්‍යාපාරයයි. 1992 දී ස්ථාපිත කළ එය විනෝදාස්වාදය සඳහා වූ අංශ වෙනුවෙන් විවර වූ සමාගමකි. නිෂ්පාදන කළමනාකරණය, සංගීතය, චිත්‍රපට, ටෙලිවිශන වැඩසටහන්, මියුසික් වීඩියෝ ඇතුළු විනෝදාස්වාදය සඳහා වූ බොහෝ කටයුතු මෙම මැවේරික් සමාගම යටතේ සිදු කෙරේ.

මෙම සමාගමට අමතරව මැඩෝනා සතුව ලොව ප්‍රමුඛතම විලාසිතා නාම සඳහා විලාසිතා නිර්මාණය කරන ආයතනයක් මෙන්ම ‘මැඩෝනා’ නමින් විලවුන් නිෂ්පාදන ආයතනයක් ද තිබේ.
 
එදා ඩොලර් 35 අතැතිව නිව්යෝර්ක් වෙත ආ මේ සුපිරි තාරකාව හට ලොව පුරා මිලියන් ගණනක් වටිනා මන්දිර තිබේ. 2016 දී පමණ බෙවර්ලි හිල්ස් හි ඇති වර්ග අඩි 17,000 ක් පමණ වූ විශාල භූමියක තැනූ සුපිරි මන්දිරය මිලියන 20 කට අලෙවි විණි.
 
අතිශය සරාගී පෙනුමකින් යුතු මැඩෝනා අද පසුවන්නේ 63 හැවිරිදි වියේය. එහෙත් කොලු ගැටව් තවමත් ඔවුනගේ සිහින තාරකාව බවට ඇය පත් කරගෙන සිටී. මැඩෝනා යනු ලෝ ප්‍රකට පිරිමින් හෙවත් ලෝ ප්‍රකට තරු චරිත බොහෝමයක් සමග සමීප සබඳතා පැවැත්වූ තරුවකි. 1985 දී ෂෝන් පෙත් සමග විවාහ වූ ඇය 1989 දී ඔහුගෙන් දික්කසාද විණි. 2000 දී ගයිරිච් සමග ඇය විවාහ වූවාය. වසර 8 ක් ඒ විවාහය පැවතිණි. ඇයගේ දරුවන් සමග හදාවඩා ගැනීමට ගත් දරුවන් ගණන 6 දෙනෙකි. මැඩෝනා යනු ලෝක සංගීත කරළියේ පසු කලෙක තරු වූ ලේඩි ගාගා, ජැනට් ජැක්සන්, කේට් ෆෙරි වැනි තරුවලට ඔවුන්ගේ ගමන් ආරම්භයේදී අත හිත දුන් චරිතයකි. මැඩෝනා යනු සමාජ සුබසාධනය උදෙසා ධනය පරිත්‍යාග කරන තරුවක් වන අතර, සමලිංගික ප්‍රජාව වෙනුවෙන් ද පෙනී සිටින චරිතයකි. ඇයගේ උස අඩි 5 අඟල් 4 කි. බර රාත්තල් 119 කි (කිලෝ 54). ඇය සතු දළ වත්කම ලෙස 2021 සඳහන් වන්නේ ඩොලර් මිලියන 850 ක් පමණ වේ.
 
මෙකී සියල්ල දිහා විමසුම් කර බලන ඔබට, සංගීතය හරි පුදුම දෙයක් නේද යැයි හැඟේවි. නමුදු ‘මැඩෝනා’ යන චරිතය දෙස හරියට බැලුවොත් ඇය අැයගේ ජීවිතය යස ඉසුරින් පුරවා ගත්තේ ඇය සතු දක්ෂතාවය නිසාමය. ප්‍රාසාංගික වේදිකාවේදී ඇයට කළ හැකි දේ කුමක්ද යන්න අසනවාට වඩා ඇයට කළ නොහැකි දේ කුමක්ද යන්න යැයි සඳහන් කිරීම වඩා හොඳය. විටෙක බුද්ධිය මැන බැලීමේ පරීක්ෂණයකදී ඇයගේ IQ අගය වූයේ 140 ක් ලෙසය. මැඩෝනා ලෝක තරුවක් වී ඇත්තේ ඒ සියලු දේ නිසාය.
 
සඳුන් ගමගේ