පැනමා පත්‍රිකා නිසා අයිශ්වර්යා අවුලක
පැනමා පත්‍රිකා යනු පැනමාවේ ඇති රහසිගත නීති සමාගමක් වන මොසැක් ෆොන්සේකා ආයතනය සතුව තිබූ රටරටවල ධනවතුන්, ජනප්‍රිය පුද්ගලයන්, දේශපාලනඥයන් ආදීන් ගේ රහසිගත තොරතුරු ඇතුළත් ලේඛනයකි. මෙවන් පුද්ගලයන් අයථා ක්‍රම මඟින් උපයා ගන්නා ධනය විශුද්ධිකරණයට බඳුන් කරන්නට සහ බදු ගෙවීම් පැහැර හරින්නට අවශ්‍ය පසුබිම සකස් කර දෙන ආයතනයක් ලෙස එය ප්‍රචලිතව පැවතිණි. මේ පිළිබඳව ගවේෂණය කර ඇත්තේ වොෂින්ටනය මූලස්ථානය කර ගත් අන්තර්ජාතික ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ සංවිධානය විසිනි.
මෙම පැනමා පත්‍රිකාවල විදේශ විනිමය හෙළිදරව් නොකරන ජනප්‍රිය පුද්ගලයන්ගේ නම් අතරට අයිශ්වර්යා රායි ගේ නම ද ඇතුළත් වී තිබිණි. දිල්ලියේ බලය ක්‍රියාත්මක කිරීමේ අධ්යක්ෂ මණ්ඩලය විසින් ඒ පිළිබඳව ඇගෙන් පැය පහක් තිස්සේ ප්‍රශ්න කරනු ලැබිණි. 2005 දී ඇයත්, බච්චන් පවුලත් බ්‍රිතාන්‍යයේ වර්ජින් දූපතේ පිහිටුවන ලද සමාගමකට ඇමෙරිකානු ඩොලර් 50000 ක මූලික ආයෝජනයක් කර තිබේ. කෙසේ වුවත් 2008 දී මෙම සමාගම විසිරුවා දමනු ලැබූ බැව් කියැවෙයි. අයිශ්වර්යා පසු ගිය වසර 15 පුරා ලැබුණ විදේශ ආදායම් පිළිබඳ වාර්තා බලය ක්‍රියාත්මක කිරීමේ අධ්යක්ෂ මණ්ඩලයට ඉදිරිපත් කර ඇත. මෙම මණ්ඩලය ඉන්දියාවේ මුදල් අමාත්‍යංශයේ එක් අංශයකි. අවශ්‍ය කට උත්තර දීමෙන් අනතුරුව අයිශ්වර්යා ආපසු මුම්බායි කරා පැමිණ ඇත්තේ මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න කිරීම් මධ්‍යයේ ඉතා අසීරුවෙනි.
අයිශ්වර්යාගේ නැන්දම්මා ද, ජනප්‍රිය බොලිවුඩ් නිළියක හා මේ වන විට මන්ත්‍රිවරියක වන, ජයා බච්චන්ගෙන් පාර්ලිමේන්තුවේදී විපක්ෂය විසින් මේ සිද්ධිය පිළිබඳව ප්‍රශ්න කර තිබේ. එහිදී ඇය බොහෝ සෙයින් උරණ වූ බැව් මාධ්‍ය වාර්තා කර ඇත.
“ඒවා අතීතයට අයිත් දේවල්.. දැන් ඒවා ගැන කතා කරලා වැඩක් නෑ..”
යනුවෙන් ඇය කියූ බව ද ඒ වාර්තාවල සඳහන් වී තිබිණි.