නාර්ගීස්ගේ රහස් සම්බන්ධය
තමා උදේ චොප්රා සමඟ අවුරුදු පහක් තිස්සේම ප්‍රේම සම්බන්ධයක් පැවැත්වූ බවත්, එහෙත් එය සඟවා තබා ගන්නා ලෙස සියල්ලන්ම කී බැවින් මාධ්‍යයකටවත් හෙළි නොකළ බවත්, දැන් ඒ පිළිබඳව පසුතැවිලි වෙන බවත් නාර්ගීස් ෆක්රි කියන්නීය.
“ඇත්තටම ඉන්දියාවෙදී මට හමු වුණ සුන්දරම පිරිමි ආත්මය තමයි උදේ චොප්රා.. ඒ වගේ කෙනෙක් එක්ක ලස්සන සම්බන්ධයක් තියෙනකොට කන්දක් මුදුනට නැඟලා කෑ ගහලා මුළු ලෝකෙටම කියන්න ඕන වුණත් හැමෝගෙම කීම මත මම එක් හැංගුවා.. දැන් ඒ ගැන පසුතැවිලි වෙනවා.. සමාජ මාධ්‍ය ජාලාවලත් පළ වෙන්නෙ වැරදි තොරතුරු.. ලෝකෙට පේන්න විතරක් හොඳ සම්බන්ධයක් තියෙන අයගෙ තොරතුරු තමයි ඒවයෙ නිතරම පළ වෙන්නෙ..”
ඇය කීවාය.
උදේ සහ නාර්ගීස් අතර සම්බන්ධයක් ඇති බවට ක්ෂේත්රයේ කසුකුසු පැතිරුණේ 2014 දීය. එහෙත් ඒ අවස්ථාවේ දෙදෙනාම කීවේ ඒ කටකතා බොරු බවය.
“මම ආයෙආයෙම කියනවා.. අපි අතරේ එහෙම සම්බන්ධයක් නෑ.. අපි හොඳ යාළුවෝ.. ඒත් එයා මගේ ජීවිතේ කොටසක් විදියට හැමදාම මගේ ළඟ රැඳෙයි.. මට ඉන්දියාවේ ඉන්නෙ යාළුවෝ කීප දෙනෙක් විතරයි.. උදේ ඒ අතරින් එක්කෙනෙක් වීම වාසනාවක්..”
ඒ දිනවල ඇය මාධ්‍යවලට කියා තිබිණි.
ඇමෙරිකානු පුරවැසියෙකු වුවත් නාර්ගිස් ගේ පියා පකිස්තානු ජාතිකයෙකි. මව චෙක් ජාතිකයෙකි. ගෝලීය පුරවැසියෙකු ලෙස නාර්ගීස් තමා හඳුන්වා ගන්නේ එම නිසාය.
ඇය ඇමෙරිකාවේ නිරූපිකාවක ලෙස සේවය කරන්නට පටන් ගත්තේ අවුරුදු 16දීය. ඉන්දියාවේ කිංෆිෂර් කැලැන්ඩරය සඳහා පෙනී සිටීම ඇගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයක් වූයේය. එහි ඇගේ සුන්දරත්වය දුටු ඉන්දියානු චිත්‍රපටි නිර්මාණකරුවෙකු වන ඉමිටියාස් අලි රොක්ස්ටාර් චිත්‍රපටියේ ප්‍රධාන චරිතය සඳහා ඇය තෝරා ගත්තේය. ඇය මොන තරම් හොඳට රඟ පෑවේ ද යත් හොඳම නවක නිළිය ලෙස ෆිල්ම්ෆෙයාර් සම්මානයට ද නිර්දේශ වූවාය. ඉනික්බිතිව ඇය මැඩ්රාස් කැෆේ, කික්, ස්පයි, මෑ තේරා හීරෝ, හවුස්ෆුල් 3, ඩිෂුම් බැන්ජෝ ඇතුළු චිත්‍රපටි ගණනාවක රඟ පා තිබේ.
උදේ ගේ පියා ප්‍රකට චිත්‍රපටි නිෂ්පාදකයෙකු හා අධ්‍යක්ෂවරයෙකු වූ යාෂ් රාජ් චොප්රා ය. ආදිත්‍ය චොප්රා ඔහුගේ සොහොයුරා වන අතර නෑනා රාණි මුඛර්ජිය. කරන ජෝහාර් ද ඥාති සහෝදරයෙකි. ඔහු නළුවෙකු පමණක් නොවේ. චිත්‍රපටි සහාය අධ්යක්ෂවරෙයකි. නිෂ්පාදකයෙකි. තිරකතා රචකයෙකි. ඔහු සිය පියාගේ සහ සොහොයුරාගේ චිත්‍රපටි ගණනාවක සහාය අධ්යක්ෂවරයා ලෙස වැඩ කර තිබේ.
නාර්ගීස් සහ ඔහු අතර සම්බන්ධය ඇති වූයේ 2013 දීය. උදේ සමඟ විවාහ වන බව ප්‍රසිද්ධියට පත් කරන්නට නාර්ගීස් සූදානම්ව සිටියත් 2017 දී එම සම්බන්ධය නතර වූයේය. ඉන් බලවත් සිත් පීඩාවට පත් නාර්ගීස් අසාර්, හවුස්ෆුල් 3 චිත්‍රපටිවල ප්රචාරක වැඩ සටහන්වලින් ද, බැන්ජෝ චිත්‍රපටියේ රඟපෑම්වලින් ද ඉවත් වී ඇමෙරිකාව බලා ගියාය. ඇගේ නියෝජිතයා නම් කිව්වේ ඇය එකම කාලයේ චිත්‍රපටි තුනකම රඟ පෑ බැවින් වෙහෙසට පත්ව අසනීප වී ප්‍රතිකාර ගන්නට ගිය බවය. කෙසේ වෙතත් බිඳුණු ප්‍රේමයෙන් ඇය තවමත් වේදනා විඳින බැව් නිසැකය. මෙතරම් කාලයක් ගත වූවාට පසුව ඇය උදේ සමඟ සම්බන්ධයක් තිබූ බැව් හෙළිදරව් කරන්නට ඇත්තේ එහෙයිනි.