දිවි ගමන නිමකළ ‘ශෝකාන්ත රජු’



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

“ලෝකයට බොහෝ දෙනෙක් වීරයෝ වෙති. එහෙත් නළුවන් වන අපට සදාකාලික වීරයා වූයේ දිලිප් කුමාර්ය. ඔහු ඉන්දියානු සිනමාවේ යුගයක්ම ඔහු සමඟ රැගෙන ගියේය..”
ජූලි හත් වෙනිදා සිදු වූ දිලිප් කුමාර්ගේ මරණය වෙනුවෙන් ශෙෘ්ක පණිවිඩයක් නිකුත් කරමින් ආක්ෂේ කුමාර් කියා තිබිණ. 
මේ පුරාවෘත්ත නළුවාගේ වටිනාකම කියන්නට තවත් වචන වුවමනා නැත. මිය යන විට අනූ අට හැවිරිදි වුවත් මුළු සිනමා ක්ෂේත්‍රයම ඔහුගේ මරණයෙන් කම්පාවට පත් වූයේය. සිනමා අඹරට ඔහුටත් වඩා දැවැන්ත තරු පෑයූ නමුදු ඔහු තරම් හොඳ නළුවෙකු බිහි වූයේ ්නැතැයි බොහෝ දෙනෙක් ප්‍රකාශ කර තිබිණි. ශෝකාන්ත රජු හා පළමුවෙනි ඛාන් ලෙස ඉන්දියානු සිනමාවේ හැඳින්වුණ ඔහු සම කරන ලද්දේ විශිෂ්ට නළුවන් ලෙස ඉතිහාසයේ රන් අකුරින් ලියැවුණ හොලිවුඞ් නළු මාර්ලන් බ්‍රැන්ඩෝ, ජපන් නළු තොෂීරෝ මයිෆූන් හෝ ඉතාලියානු නළු මාර්සෙලෝ මස්ත්‍රොයන්නිටය. 
මාස කිහිපයක සිටම ඔහු පුරස්ථි ග්‍රන්ථියේ පිළිකාවකින්  පීඩා විඳිමින් සිටියේය. ජූනි 30 දා ඔහු මුම්බායි හි හින්දුජා රෝහලට ඇතුළත් කරන ලද්දේ හුස්ම ගැනීමේ අපහසුතාව නිසාය. ඔහුගේ සොයුරන් දෙදෙනෙක් ද කොවිඞ් වැළඳීම හේතුවෙන් මිය ගොස් තිබිණි.  ජූලි හත් වෙනිදා උදේ දිලිප් කුමාර් මිය ගියේය. ඔහුගේ අවමඟුල රාජ්‍ය ගෞරව සහිතව සිදු කරනු ලැබිණි. 
පලතුරු වෙළෙන්දෙකුගේ පුතෙකු ලෙස මොහොමඞ් යූසුෆ් ඛාන් උපත ලද්දේ 1922 වසරේ දෙසැම්බර් මාසයේ පෙෂාවර්හිදීය. දැන් එය පකිස්තානයේ කොටසකි. ඒ වන විට ඉන්දියාව හා පකිස්තානය දෙකඩ වී තිබුණේ නැත. 
යූසුෆ් ඛාන් රංගනය පිළිබඳ කිසිදු දැනුමක්  තිබූ අයෙකු නොවේ. ඔහු කිසිදු රංගන පාඨමාලාවක් හදාරා තිබුණේත් නැත. එහෙත් බොම්බේ ටෝකිස් චිත්‍රපටි ආයතනයේ ජ්‍යෙෂ්ඨයෙකු හා නිළියක ද වූ දේවිකා රාණි විසින් ඔහු ජ්වාර් භාතා චිත්‍රපටිය සඳහා තෝරා ගන්නා ලදී. ඔහු ගේ නම තිරයට ගැලපෙන අන්දමට දිලිප් කුමාර් ලෙසින් වෙනස් කරන ලද්දේ ද ඇය විසිනි. 
දිලිප් කුමාර් ජනප්‍රිය වූයේ 1944 දී තිරගත වූ එම චිත්‍රපටියෙන් නොව ඔහු තුන් වෙනි වරට රඟ පෑ මිලන් චිත්‍රපටියෙනි. එය නිෂ්පාදනය වූයේ මහා ගත්කරු රබින්ද්‍රනාත් තාගෝර් ගේ නෞකා ඩූබි නවකතාව ඇසුරිනි. 
දිලිප් කුමාර් වැඩි පුරම රඟ පෑවේ ශෝකාන්ත චිත්‍රපටිවලය. කොයි තරමක් ද යත් ඔහුට මානසික ආතතිය වැළඳී ලන්ඩනයේ මනෝ වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ගන්නට ද සිදු වූයේය. සුඛාන්ත චිත්‍රපටිවල ද රඟ පාන ලෙස වෛද්‍යවරයා ඔහුට අවවාද කළේය. 1944 දී ජ්වාර් භාතා චිත්‍රපටියෙන් ආරම්භ වී 1998 ක්විලා චිත්‍රපටිය දක්වා 65 කට අධික චිත්‍රපටි ප්‍රමාණයක ඔහු රඟ පා තිබේ. අන්දාස්, ආන්, දාග්, දේව්දාස්, අසාඞ්, මුගල් ඒ අසාම්, ගංගාජමුනා, රාම් ඕර් ශ්‍යාම් ඒවායින් කිහිපයකි. 
තරණ චිත්‍රපටියේ රඟපාද්දී දිලිප් කුමාර් සහ එකල ජනප්‍රිය නිළියක වූ මධුබාලා අතර ඇති වු ආදර සම්බන්ධය අවුරුදු හතක්ම පැවතිණි. නායා දවුර් චිත්‍රපටිය හරහා ඇති වූ සිද්ධියක් උසාවිය දක්වාම දුරදිග ගියේය. එහි ප්‍රධාන චරිත රඟ පෑවේ දිලිප් සහ මධුබාලාය. මධුබාලාට අත්තිකාරම් මුදලක් ද ගෙවන ලද අතර ඇය දින 15 ක් එහි රඟපෑවාය.  එළිමහන් රූගත කිරීම් සඳහා භෝපාල් නගරයට යා යුතු බව බී ආර් චොප්රා අධ්‍යක්ෂවරයා කී විට මධුබාලාගේ පියා තරයේම එයට විරුද්ධ වූයේය. අවසානයේදී චොප්රා මධුබාලාට ගෙවූ අත්තිකාරම් මුදල ඉල්ලා සිටියේය. උසාවියේදි දිලිප් සාක්කි දුන්නේ නිෂ්පාදකයාගේ පැත්තටය. ඉන් දිලිප්ගේත් මධුබාලාගේත් සම්බන්ධය කෙළවර වූයේය. 1960 දී මුගල් ඒ අසාම් චිත්‍රපටියෙන් පසුව ඔවුහු කවදාවත් එකට රඟ පෑවේ නැත. 
නායාදවුර් චිත්‍රපටියේ චරිතයට මධුබාලා වෙනුවට යොදා ගන්නා ලද්දේ දකුණු ඉන්දියානු නිළියක වූ වෛජයන්තිමාලාය. දිලිප් සහ ඇය ඉතා හොඳින් ගැලපෙන තිරයේ පෙම්වතුන් වූ අතර ඔවුහු ්දේව්දාස් චිත්‍රපටියේ ද එකට රඟ පෑහ. ඔවුන් දෙදෙනා අතර සම්බන්ධයක් ඇති බැව් පතළ වුවත් 1966 දී දිලිප් විවාහ වූයේ තමාට වඩා අවුරුදු 22 ක් වයසින් බාල වූ සයිරා බානු සමඟය. 1981 දී ඔහු සිය දෙවන බිරිඳ ලෙස අස්මා සහිබා විවාහ කර ගත්තේය. එහෙත් එම විවාහය අවුරුදු දෙකකින් කෙළවර වූයේය. ඔහුත් සයිරා බානුත් බන්ද්‍රා ප්‍රදේශයේ ජීවත් වූ අතර ඔවුන්ට දරුවන් ඇති බවක් කොතැනකවත් සඳහන් වී නැත. 
ඔහුට ඕනෑම චරිතයක් එයට සමවැදී රඟ පාන්නට හැකි බැව් කියැවෙයි. ඔහු ගැමි චරිත, නාගරික චරිත පමණක් නොව ඓතිහාසික චරිත ද මනාව රඟ පෑවේය. ඔහු සංගීතයට ඉතාම ප්‍රිය කළ අතර එක් චිත්‍රපටියක චරිතය උදෙසා සිතාර් වාදනය ද ඉගෙන ගත්තේය. ක්‍රිකට්වලට ඉතාම ප්‍රිය කළ ඔහු හැකි හැම අවස්ථාවකම ක්‍රිකට් සෙල්ලම් කළේය. 
ඔහු විශිෂ්ට ගණයේ නළුවෙකු ලෙස සුපතළව සිටියා පමණක් නොව වැඩිම සම්මාන ගණනක් දිනූ ඉන්දියානු නළුවා ලෙස ගිනස් වාර්තාව උසුලන්නේ ද ඔහුය. ඔහු කලක් දේශපාලනයට ද සම්බන්ධව සිටියේය. 
“ඉන්දියාවේ සිනමා ඉතිහාසය ලියැවෙද්දි එය දිලිප් කුමාර්ට පෙර සහ පසුව යනුවෙන් ලියැවිය යුතුයි..”
ඔහුගේ මරණයෙන් කම්පාවට පත් සුපිරි නළු අමිතාබ් බච්චන් එසේ සඳහන් කර තිබිණි.

චන්දි කොඩිකාර