දෙමස්සිනාලාගේ රඟපෑම්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

අන්තිම්- ද ෆයිනල් ටෲත් චිත්‍රපටියේ ආයුෂ් ශර්මා රඟ පාන්නේ අපරාධ කල්ලි නායකයෙකු ලෙසිනි. සල්මන් ඛාන් එහි පොලිස් නිලධාරියෙකුගේ චරිතය රඟ පාන්නේය. ඔවුන් දෙදෙනා සැබෑ ජීවිතයේදී මස්සිනාලාය. සල්මන් ඛාන් ගේ නැගණිය අර්පිතා ඛාන් විවාහ වී සිටින්නේ ආයුෂ් සමඟය. අන්තිම් ආයුෂ් ගේ දෙවන චිත්‍රපටිය වන අතර ප්‍රථම චිත්‍රපටියට වඩා ඔහු ශාරීරිකව ද වෙනස්කම් ඇති කරගෙන තිබෙන බැව් සල්මන් කියන්නේය.

“ඇත්තටම ඔහු චරිතයට ගැලපෙන විදියට සිරුර වෙනස් කරගෙන තියෙන හැටි දැක්කම මාව ගැස්සිලා ගියා.. චරිතය වෙනුවෙන් ඔහු මහන්සි වෙලා තියෙන විදිය ප්‍රශංසනීයයි..” ඔහු කියා තිබිණි. 

“එහෙම ඇහෙනකොටත් මට හරි සතුටුයි.. චරිතය වෙනුවෙන් ඇඟ හදා ගන්න මම මහන්සි වුණා තමයි.. ඒත් ඒක හරියයි කියලා ලොකු විශ්වාසයක් මට තිබුණෙ නෑ.. මට ඕන කරලා තිබුණේ ශක්තිමත් චරිතයක් විදියට තිරයේ දිස් වෙන්න.. අපරාධ කල්ලි සාමාජිකයෙක් කියන්නෙ ඉතාම සාමාන්‍ය පුද්ගලයෙක් තමයි.. ඒත් තුවක්කුවක කොකා ගස්සන්න තරම් ශක්තියක් තියෙන්න එපායැ..”

සිය මස්සිනාගේ ප්‍රශංසාවට පිළිතුරු ලෙස ආයුෂ් කියන්නේය. චිත්‍රපටිය රූගත කිරීමේදී නම් ඔහු තුළ ඒ ශක්තිය ගැන විශ්වාසයක් නොතිබිණි. විශේෂයෙන්ම සල්මන් සමඟ ගැටුම් ඇති කර ගන්නා දර්ශන රඟ පාද්දී ඔහු බොහෝ පරිස්සම් වූයේය. සල්මන් ගේ හිසට පහරක් වැදුණ සැණින් ඔහු රඟපෑම නැවැත්වූ බැව් චිත්‍රපටිය පිළිබඳව මෑතදී නිකුත් වූ වීඩියෝපටයෙහි දැක්වෙයි. එම දර්ශනයේ ආයුෂ් සහ සල්මන් දෙදෙනාම සිටින්නේ උඩුකය නිරුවත්වය. ඔවුන් දෙදෙනා  ගහ ගන්නා අතර සල්මන්ගේ හිසට ආයුෂ්ගෙන් පහරක් වැදුණ සැණින්ම දර්ශනය නතර වී තිබේ. ආයුෂ් සල්මන්ගේ තලප්පාවෙන් අල්ලාගෙන ඔහුට හානියක් නැද්දැයි අසන බවක් පෙනේ. මාධ්‍ය සාකච්ඡාවකදී ආයුෂ් මේ පිළිබඳව පාපොච්චාරණයක් කර තිබිණි. 

“ඇත්තටම සල්මන්ට ගහන්න මට බය හිතුණා.. ඒ හින්දයි පාර වැදුණ ගමන්ම රඟපෑම නතර වුණේ.. කොහොමටත් මම කට්ටියට කියලා තිබුණේ කාරෙක ලෑස්ති කරලා තියන්න කියලා.. මගෙ අතින් වැරදිලා හරි සල්මන්ට පාරක් වැදුණොත් දුවලා ඇවිත් කාරෙකට නගින්නයි මම ලෑස්ති වෙලා හිටියෙ..” 

ඔහු එසේ කියා තිබුණේ සිය මස්සිනාට ඒ තරමටම ගරු කරන නිසා විය යුතුය. 



More In Hot Story