කොයි මිල් ගයාට දහඅටයි - ජාදුට විසි එකයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

විචාරක, රසික ප්‍රතිචාර එක ලෙසින්ම සුබවාදී වන චිත්‍රපටි ඇත්නම් ඒ අතළොස්සකි. රීතික් රොෂාන්, ප්‍රිති සින්තා සහ රේඛා රඟ පෑ, රාකේෂ් රොෂාන් නිෂ්පාදනය කළ කොයි මිල් ගයා ඒ අතර ඉදිරියෙන්ම තිබෙන්නේය. 2003 වසරේ අගෝස්තු මාසයේ නිර්මාණය වූ කොයි මිල් ගයා චිත්‍රපටියට මේ වන විට 18 වසරක්  සපිරී තිබේ.  බොක්ස් ඔෆිස් වාර්තා බිඳ හෙළමින් ප්‍රදර්ශනය වූ එය  චිත්‍රපටි ඉතිහාසයේ මෙන්ම රීතික් ගේ සිනමා දිවියේ ද හැරවුම් හැරවුම් ලක්ෂ්‍යයක් වූයේය. 

කොයි මිල් ගයාහි රීතික් රඟ පාන්නේ රෝහිත් නමැති මානසික ආබාධිත තරුණයෙකුගේ චරිතයකි. ඔහුගේ වයසේ  තරමට මනස වර්ධනය වී නැත. එම නිසාම ඔහු ඇසුරු කරන්නේ කුඩා ළමයින්ය. ඔවුන් ඔහු තේරුම් ගත්තත් ඒ ළමයින් සමඟ එක් වී කරන දඟ වැඩ නිසා සමාජයේ අනෙක් අයගේ ගැරහුම්වලට සහ සරදම්වලට ලක් වෙන්නට රෝහිත්ට සිදු වෙයි. 

පිට සක්වල ජීවියෙකු සමඟ මිතුරු වූවාට පසුව ඔහුගේ ජීවිතය වෙනස් වෙයි. ඔහු මේ මිතුරාට නම තබන්නේ ජාදූ ලෙසිනි. කොයි මිල් ගයා චිත්‍රපටියට දහ අට වසරක් සපිරීම වෙනුවෙන් සටහනක් තබන රීතික් ජාදූ ගැන කතා කරන්නේ හෘදයාංගමවය. ඔහු රෝහිත් ගේ ජීවිතය පමණක් නොව තමාගේ ජීවිතයත් ප්‍රීතියෙන් හා මැජික්වලින් පිරවූ බැව් ඔහු එහි සඳහන් කර තිබේ. 

“රෝහිත් ගේ ජීවිතයට ඇතුල් වෙනකොට ජාදූ ගේ වයස අවුරුදු තුනයි.. මේ වෙනකොට එයා කොහොම ඇද්ද කියලා හිතෙනවා.. දැන් එයාගෙ වයස අවුරුදු විසි එකයි.. සුබ උපන් දිනයක් වේවා ජාදූ..”

ඔහුගේ සටහනේ එසේ ද සඳහන් වෙයි. 

කොයි මිල් ගයා චිත්‍රපටියේ සාර්ථකත්වය ක්‍රිෂ් චිත්‍රපටි මාලාවට මඟ පෑදුවේය. මේ වන විට ක්‍රිෂ් චිත්‍රපටි තුනක් ප්‍රදර්ශනය කර ඇති අතර හතර වෙනි චිත්‍රපටියක් ද සැලසුම් කර තිබේ. 

කොයි මිල් ගයා චිත්‍රපටිය ලොව පුරා ප්‍රදර්ශනයෙන් ලැබුණ ශුද්ධ ආදායම රුපියල් කෝටි 823 ඉක්මවූ බැව් කියැවෙයි.