උද්තා පන්ජාබ් චිත්‍රපටිය දැක මිරා බය වෙලා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

“උද්තා පන්ජාබ් චිත්‍රපටිය වැටෙන්නේ අපරාධ චිත්‍රපටි ගණයට.. ඒකෙ මම රඟ පාන්නෙ ටොමී සිං කියන රොක් ස්ටාර් කෙනෙකුගෙ චරිතය... ඔහු මත් ද්‍රව්‍යවලට තදින්ම ඇබ්බැහි වුණ කෙනෙක්.. ඒ වගේම හුඟාක් තරහ එනවා..”
මේ මෑතකදී මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වූ ෂාහිඩ් කපූර් 2016 තිරගත වූ උද්තා පන්ජාබ් චිත්‍රපටිය ගැන සඳහන් කරමින් පැවසුවේය. එම චිත්‍රපටියේ අධ්‍යක්ෂණය සහ තිර රචනය කරන ලද්දේ අභිෂේක් චව්බේ විසිනි. සුදිප් ශර්මා සහාය තිර රචකයා වූයේය. කරීනා කපූර්, ආලියා භාත් ඇතුළු පිරිසක් එහි රඟ පෑහ. චිත්‍රපටිය නිෂ්පාදනය කරන ලද්දේ ශෝභා කපූර්, එක්තා කපූර්, අනුරාග් කාශ්‍යප් සහ තවත් කිහිප දෙනෙක් විසිනි. ජාතික චිත්‍රපටි පාලක මණ්ඩලය එයට ප්‍රදර්ශන අනුමැතිය දෙන්නට අදිමදි කළේ එහි අසැබි දර්ශන අඩංගු බැව් කියමිනි. එහි සෑහෙන දර්ශන ප්‍රමාණයක් ඉවත් කරන්නටත් නියෝග කෙරිණි. එම නිසා ප්‍රදර්ශන අවසරය ඉල්ලා උසාවි යන්නට නිෂ්පාදකයන්ට සිදු වූයේය. අවසානයේදී ඉහළ උසාවියෙන් අවසර ලැබුණ අතර කිසිම දර්ශනයක් ඉවත් කරන්නට සිදු වූයේ ද නැත. චිත්‍රපටිය ප්‍රදර්ශනය ඇරඹුණේ 2016 ජූලි මාසයේය. එය නිෂ්පාදනය කරන්නට රුපියල් මිලියන 340 ක් වැය වී තිබිණි. එය ඉන්දියාව පුරා සාර්ථක අන්දමට ප්‍රදර්ශනය වූ අතර ලැබුණු ආදායම රුපියල් මිලියන 960 කි. 62 වැනි ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලේදී එයට සම්මාන හතරක් හිමි වූයේය. හොඳම නිළිය ලෙස ආලියා භාත් සම්මාන ලැබූ අතර හොඳම නළුවාට හිමි විචාරක සම්මානය දිනා ගත්තේ ෂාහිඩ් කපූර්ය. 
“ඇත්තටම චිත්‍රපටියෙ වගේම ෂාහිඩ්ට තරහ එනව ද..?”
මාධ්‍ය සාකච්ඡාවේදී මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයට ෂාහිඩ් පිළිතුරු දුන්නේ සිනාසෙමිනි. 
“ඇත්තටම මට තරහ එන්නෙ නෑ.. ඒ වගේම මම මත් ද්‍රව්‍ය පාවිච්චි කරන්නෙත් නෑ.. ඒත් චිත්‍රපටිය බලද්දී මිරා හිතුවා මම එහෙම දේවල් කරන කෙනෙක් කියලා..”
ෂාහිඩ් කපූර් සහ මිරා රාජ්පුත් විවාහ වූයේ 2015 ජූලි මාසයේදීය. එය යෝජිත විවාහයකි. විවාහයෙන් ටික කලකට පසුව ෂාහිඩ් ඇයද කැටුව උද්තා පන්ජාබ් නරඹන්නට ගියේය.  
“ඒ වෙනකොට ෆිල්ම් එක රිලීස් වෙලා තිබුණෙ නෑ.. මම නිකමට ඇහැව්වා මිරාගෙන් ෆිල්ම් එක බලන්න එඩිටින් රූම් එකට යන්න එනව ද කියලා.. එයා කැමති වුණා.. අපි ගිහින් සෝපාවක එක ළඟ ඉඳගෙන ෆිල්ම් එක බලන්න පටන් ගත්තා.. ඒත් ඒකෙ මුල් බාගෙ ඉවර වෙනකොට මිරා හිටියෙ මට වඩා අඩි පහක් විතර ඈතින්.. මම ඇහැව්වා මොකද වුණේ කියලා.. එතකොට එයා කිව්වා ඔයා මේ වගේ කෙනෙක් නම් මට තවත් ඔයත් එක්ක ඉන්න ඕන නෑ කියලා.. ඇත්තටම මම හොඳටම කලබල වුණා.. අපි දෙන්නා බැඳලා මාස ගණනක් විතරයි ගත වෙලා තිබුණෙ.. ඒ මදිවට ඒක යෝජිත විවාහයක්.. ඒ හින්දා අපිට කතාබහ කරලා එකිනෙකා තේරුම් ගන්න තරම් කාලයක් තිබ්බෙ නෑ.. ෂාහිඩ් කපූර් කියන්නෙ චිත්‍රපටියෙ ඉන්න ටොමී සිං නෙමෙයි  කියලා එයාට තේරුම් කරවන්න මට සෑහෙන වෙලාවක් ගියා..” ඔහු කීවේය.