ඉන්දියාවෙන් බිහි වූ ලෝක රූ රැජිණ ඓශ්වර්යා රායි ඇරඹූ සමාගම්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ලෝක රූ රැජිනක වීම යනු එකතකට රටකට ඔටුන්නක් හිමිවූවාක් මෙන් වූ අවස්ථාවකි. රූ රැජිනක අභිෂේක ලබන රට මුළු ලෝකයේම අවධානයට යොමුවීම ඊට හේතුවය. එය එම රටෙහි සංචාරක කර්මාන්තයට ද ගෙන දෙන්නේ ලොකු ආලෝකයකි.

ඉන්දියාවට විශ්ව රූ රැජින යනු විටින් විට ජයග්‍රහණ දිනා දුන් තරගාවලියකි. කලින් කලට රූ රැජිනක් ලෝකයට බිහි කරන ඉන්දියාව මෙවර ද රූ රැජිනක බිහිකර තිබේ. ඇයගේ නම. හර්නාස් සනුධුය. අප මේ කතා කිරීමට සූද‌නම් වන්නේ සුරූපී හර්නාස් ගැන නම් නොවේ. ඇය ගැන සැකෙවින් විස්තර දැන ගන්නා අතරේ ප්‍රකට සමාගම් ලොව දිනූ හැටි විශේෂාංගය ඔස්සේ මෙවර අප විස්තර කිරීමට සූද‌ානම් වන්නේ ලෝකයේ පොහොසත්ම රූ රැජිනක වන ඓශ්වර්යා රායි බච්චන් ගැන සහ ඇයගේ ව්‍යාපාර ගැන කරුණු විස්තර කිරීමටය. එද‌ා මෙද‌ා තුර ලෝක රූ රැජින, විශ්ව රූ රැජින තරග ඉතිහාස දෙස බැලීමේදී මෙතෙක් ලොව බිහිවූ අතිශය සුරූපී කාන්තාවන් දස දෙනා අතරට ඓශ්වර්යා රායි බච්චන්ගේ නම ඇතුළත්ය. ලොව වඩාත් ධනවත් වූ රූ රැජින කිරුළ දිනූ චරිත අතරින් ඓශ්වර්යා නොහොත් ‘අයිෂ්’ ප්‍රමුඛව වැජඹෙන චරිතයකි. ඇය එසේ ධනවත් කාන්තාවක් බවට පත්වූයේ ලෝකයේ ධනවත්ම නළු ලැයිස්තුවේ ශ්‍රේණිගතව සිටින ‘බිග්-බී’ හෙවත් අමිතාබ් භච්චන්ගේ පුතු අභිෂේක් සමග විවාහ වූ නිසාම නොවේ. එසේ නම් ‘ඓශ්වර්යා’ ලොව ‘ධනවත්ම’ කාන්තා චරිතයක් වූයේ කෙසේද?
 
‘ඓශ්වර්යා’ යන්නෙහි තේරුම ලෙස හැඳින්වෙන්නේ හින්දි භාෂාවට අනුව සමෘද්ධිමත්. ධනවත් යන්නය. ‘හින්දු’ සමාජයේ හැටියට ගැහැනු දරුවකුට මේ නම යෙදීම ඉතා වාසනාවන්ත යැයි විශ්වාස කෙරේ. මේ වාසනාවන්ත දියණිය උපත ලැබුවේ 1973 නොවැම්බර් මස 1 වැනිද‌ා කර්නාටක ප්‍රාන්තයේ බැංගලෝරයේදීය. ‘බන්ට්’ පෙළපතේ නැතහොත් බන්ට් කුලයට අයත් බව සඳහන් වේ.
 
‘බන්ට්’ කුලයේ අය ඉඩම් හිමි, කෘෂිකාර්මික සම්භවයක් ඇති ඊට අධිපති වූ ප්‍රජාවකි. මුල්ම විකාශයේදී ‘රණශූර’ ප්‍රජාවට අයත් වූ බව සඳහන් වේ. ඓශ්වර්යාගේ මව රැකියාවක් නොකළාය. පියා ජීව විද්‍යාඥයකු වූ අතර සේවය කළේ යුධ හමුදාවේය. ඓශ්වර්යාගේ එකම සොහොයුරා එනම් ඇයගේ අයියාගේ නම ආදිත්‍ය රායි වේ. ඔහු ද ඉංජිනේරුවරයෙකි. මවගේ නම බ්‍රින්ධ්‍යා රායි වන අතර පියාගේ නම ක්‍රිෂ්ණරාජ් රායි වේ.
 
‘ඓශ්’ කුඩා කාලයේ සිටම ඉගෙනුමට දක්ෂතා දැක්වූවාය. බැංගලෝරය හැරද‌ා මුම්බායි වෙත රායි පවුල පැමිණි අතර ඓශ්චර්යා ආර්ය විද්‍යා මන්දිර් උසස් පාසලට ඇතුළත් කෙරිණි. ද්විතියික අධ්‍යාපනය වෙනුවෙන් ජායි හින්දු පාසලට ඇතුළත්ව සිට පසුව මතුංගාහි (Matunga) ඩී.ජී. රූපරල් කොලීජියට ඇතුළත් වූවාය. එහිදී උසස් පෙළට මුහුණ දුන් ඇය සියයට 90 ක ලකුණු ප්‍රතිශතයක් ලබාගෙන ඉහළින්ම සමත්විණි. ඉගෙනීම් කරන අතරේ යෞව්වනියකව සිටි ඇය ශාස්ත්‍රීය නර්තනය සහ සංගීතය ප්‍රගුණ කළාය. එසේ වුවද ඇයගේ ප්‍රියතම විෂය වී තිබුණේ සත්ත්ව විද්‍යාවය. ඒ නිසා වෛද්‍ය වෘත්තිය කළ හැකි බව ඇයගේ විශ්වාසය විය. ඉන්පසුව ඇය ආසා කළේ ගෘහ නිර්මාණ ශිල්පිනියක වීමටය. ඒ වෙනුවෙන් රචනා සංසද් ඇකඩමියේ ලියාපදිංචි වී සිටියද එතැනින් එහාට තාවකාලිකව උසස් අධ්‍යාපනයට ඇය සමුදුන්නේ නිරූපණ ක්ෂේත්‍රයට පිවිසීමත් සමගය.
 
වෘත්තීය ජීවිතය

වෘත්තීය නිරූපණ ශිල්පිනියක ලෙස අවතීර්ණව සිටි තුරුණු සුරූපී ‘ඓශ්’ ෆෝඩ්’ වෙළෙඳ නාමය යටතේ සංවිධානය කර තිබූ ‘සුපර් මොඩල්’ තරගාවලියේදී ජයග්‍රහණය ලබා ගත්තේය. එය ජාත්‍යන්තර තරගාවලියක් විය. ඒ සමගම මේ වාසනාවන්තිය හට ලෝප්‍රකට ‘වෝග්’ සඟරාවේ පෙනී සිටීමට අවස්ථාව ලැබිණි. දෙස් විදෙස් වශයෙන් බොහෝ දෙනා ඇය ගැන කතා කරන්නට එය හේතුවක් විණි. කවුද මේ ලස්සන කෙල්ල? හරිම ලස්සනයි නේද? හිනාවෙන කොට කම්මුල් වළගැහෙන හැටි, ඇගේ මුහුණ දිහා බලා ඉන්න තරමට ආසයි’ බොහෝ දෙනා ‘ඓශ්’ ගැන විමසුම් කළේ එලෙසිනි. ඉනික්බිතිව එක් රැයකින් ප්‍රකෝටි සංඛ්‍යාත මුළු භාරතය පමණක් නොව දකුණු ආසියානු කලාපයම ඇය නතුකර ගත්තේ ‘පෙප්සි’ දැන්වීමට පෙනී සිටීම නිසාය. ඇය ඊට පෙනී සිටියේ අමීර්ඛාන් සහ මහීමා චවුදි සමග වීම නිසා, ​බොලිවුඩ් චිත්‍රපටයකට ලැබෙන තරමේ ප්‍රතිචාර ඇයට ලැබුණි. එම දැන්වීමට අනුව ‘හායි අයි ඈම් සංජනා’ යනුවෙන් දෙබසක් කීමට තිබිණි. එතැන් සිට දකින, දකින සෑම කෙනෙක්ම ‘හායි සංජනා’ කියා ඇය ඇමතුවේ ඒ දැන්වීම නිසාය.
 
එලෙසින් නිරූපණ ශිල්පිනියක ලෙස ස්ථාවරව සිටි ඇය, රූ රැජින තරගයක් සඳහා මුල්වරට සහභාගි වූයේ 1994 ‘මිස් ඉන්දියා’ තරගය වෙනුවෙනි. එහිදී ජයග්‍රහණය ලැබුවේ සූෂ්මිකා සෙන්ය. ඓශ් දෙවැනියා වූවාය. නමුත් එහිදී මිනි කිරුළු (උප කිරුළු) පහක් ඇයගේ නාමය ඉදිරියේ සනිටුහන් වුණා. පසුව දකුණු අප්‍රිකාවේ පැවැති ලෝක රූ රැජින තරගයට ඇය ඉදිරිපත් වූයේ ඉන්දීය රූ රැජින දෙවැනි ස්ථානය සහ උප කිරුළු කීපයක උරුමය දරා ගෙනය. 1994 එම ලෝක රූ රැජින තගරයේදී මුළු මහත් භාරතයට ගෞරවයක් ගෙන දෙමින් කිරුළ තම රටට උරුම කර දීමට ‘රායි’ සුන්දරිය හට හැකි විණි.
 
සිනමා ප්‍රවේශය

ලෝක රූ රැජින වී මුළු ලෝකයම ඇය ගැන දැනගත් පසු බොලිවුඩ් සිනමා මාලිගයේ දොර ඇයට විවර විණි. 1997 දී ඇය ඇයගේ සිනමා ගමන සනිටුහන් කළේ සම්මානනීය සිනමාකරු මනිරත්නම්ගේ ‘ඉරුවර්’ චිත්‍රපටයේ රඟපාමින්ය. නමුත් එය ‘දමිළ’ චිත්‍රපටයක් විණි. හින්දී සිනමාවේ ප්‍රථම වරට ඇය රඟපෑවේ ‘ඕර් පසාර් භෝගයා’ සිනමා නිර්මාණයේය. ඉන්පසුව රඟපෑ ආදරණීය තේමාවක් රැගත් දමිළ චිත්‍රපටයක් වන ‘ජීන්ස්’ (1998) රඟපෑම සමග සුවිශාල ප්‍රේක්ෂකාගාරයක් ‘රායි’ වටා එක්වුණි. එකල ඉන්දීය සිනමාවේ එතෙක් නිෂ්පාදනය කළ චිත්‍රපට අතරින් වැඩිම පිරිවැයක් දැරූ චිත්‍රපටය එය විය. සිනමා ගමන් පටන් ගත්තේ සම්භාවනීය ප්‍රවේශයක් ලබමිනි. ඒ සම්මානනීය ගමනේ විචිත්‍රත්වය ගැන ඔබට අමුතුවෙන් කිවයුතු නොවේ.
 
 
භාෂා විශාරදවරිය

‘ඓශ්චර්යා’ යනු රූපයෙන් පමණක් පොහොසත් කාන්තාවක නොවේ. උගත් කාන්තාවක කීම නිවැරදිය. ඇය හට දමිල භාෂාව කොහොමටත් උරුමයෙන් ගෙනා දෙයකි. දමිළ භාෂාවට අමතරව තුලු (Tulu) බස හොඳින් හැසිරවිය හැකිය. එය ඉන්දියාවේ දකුණු පළාතේ විශේෂයෙන්ම දක්ෂිණ කන්නඩා’ ජනයා අතර භාවිතා වේ. තුලු බසට අමතරව, කන්නඩා, උර්දු, හිංදි සහ ඉංග්‍රීසි බස ඉතා චතුර ලෙස ඇයට පුළුවන. භාෂා හයක දැන සිටීම මගින් ඇයගේ දැනුම අපට මැනගත හැකිය.
 
 
පෙම් සබඳතා

සුරූපී ඓශ්වර්යාගේ ප්‍රථම පෙම්වතා වූයේ සල්මාන් ඛාන්ය. 1999 දී හටගත් ඒ ප්‍රේමය 2002 දක්වා පැවතුණි. නමුත් එය ආදරයකට එහා ගිය රාගයක්ද ඇය හට වටහාගත හැකි වූයේ කාලයාගේ ඇවෑමෙන්ය.
 
සල්මන්ගෙන් ඇය බලාපොරොත්තු වූයේ සැබෑ ආදරයකි. එහෙත් එය තාඩන, පීඩන, බැනවැදීම්, අපහාස සමග ගෙවී ගිය එකක් යැයි ඒ පෙමට තිත තැබූ මොහොතේ සුරූපිනිය කියා සිටි දෙයකි. ඉන්පසු 2005 දක්වා ඇය පෙමින් වෙලී සිටියේ විවේක් ඔබරෝයි සමගය. එය ඉතා ආදරණීය බැඳීමක් විය. සරූපී ‘ඓශ්’ හට ‘බිග් බී’ හෙවත් අමිතාබ් භච්චන්ගේ පුතු අභිෂේක් සමග රඟපෑමට ලැබුණේ ‘ඩූම් 2’ චිත්‍රපටයේ රඟපෑම සමගය. 2006 දී එහි රඟපාන අතරේ හටගත් ප්‍රේමය ගැන අනාවරණය කිරීම 2007 දී ප්‍රකාශ විණි. 2007 අප්‍රේල් 20 වැනිද‌ා හින්දු චාරිත්‍රානුකූලව, බන්ට් ප්‍රජාවේ අංගයන් සමග විවාහය සිදුකෙරිණි. උතුරු ඉන්දීය සහ බෙංගාලි විදියට උත්සව පැවැත්විණි. විවාහ උත්සව සඳහා තෝරාගෙන තිබුණේ ‘භච්චන්’ පවුලේ මහා මන්දිරය වන මුම්බායි ජුහු පළාතේ පිහිටි ‘ප්‍රතික්ෂා’ මන්දිරයේදීය. ඓශ්වර්යා යනු ස්වාමි භක්තික, පවුලට වඩාත් ලැදි කාන්තාවකි. එමෙන්ම ඇය දැඩි හින්දු භක්තික කාන්තාවකි.
 
ඓශ්වර්යාට ධන ගංගාව ගලා එන්නේ කොහොමද?

ඓශ්වර්යා, මුල්වරට දැන්වීමකට පෙනී සිට ඇත්තේ පාසල් දැරියක ලෙස 9 වැනි වසරේ ඉගෙනුම ලබමින් සිටි කාලයේදීය. ‘කැම්ලින්’ පැන්සල් වෙළඳ නාමය වෙනුවෙන් එද‌ා ඇය එලෙසින් පෙනී සිට ඇත. පසුකලෙක ඇය හට ධන උල්පත් මැවුණේ. ‘පෙප්සි’ කෝලා දැන්වීමට පෙනී සිටීම සමගය. පෙප්සි කෝලා දැන්වීමට පෙනී සිටි ඇයව ලෝප්‍රකට කොකා කෝලා සමාගමට ද නැතුවම බැරි චරිතයක් විය. සාමාන්‍යයෙන් දැන්වීම් නිරූපණයේදී එක් ‘බීම’ වර්ගයක් සඳහා පෙනී සිටීමේදී තවත් වෙ​ෙළඳ නාමයකට පෙනී සිටීමට නොහැකි වුවද ‘ඓශ්චර්යා’ හට පෙප්සිවලට අමතරව කොකාකෝලා වෙනුවෙන් ද ද‌ායක වීමේ අවස්ථාව හිමිවුණි. ​‘ඓශ්’ හට ඇති ඉල්ලුම කොතරම් ද යන්න කීමට එය කදිම නිදසුනකි. ලෝ ප්‍රකට සුපිරි ඔරලෝසු නාමයක් වන ටයිටන් නාමයට අමතරව ස්විට්සර්ලන්තයේ තවත් සුපිරි ඔරලෝසු නාමයක් වන ලොන්ගයින්ස් (Longines) සමග ද ඇය ගිවිසගෙන ඇත. ඊට අමතරව ලෝරියල්, ලක්මේ රූපලාවන්‍ය, කැෂියෝ පේපර්, ෆාම්ඔලිව්, ලක්ස්, ෆුජී ෆීල්ම්, ෆිලික්ස් ඇතුළු තවත් විවිධ වෙළෙඳ නාම සමග ගිවිසගෙන සිටින්නීය. ඒ හරහා ඇයට ලැබෙන්නේ සල්ලි මිටි ගණනිනි. ලෝකයේ ඔරලෝසු වෙළෙඳනාම සඳහා පෙනී සිටි තරු චරිත අතරින්, මුළු ලෝකයේම දෙවැනියට ආකර්ශනයට නතුවූ චරිතය ඇය යැයි සඳහන් වේ. ඉන්දියාවේ බහුවිද සමාගමක් වන ටී.ටී.කේ. ගෲප් හි අලෙවි ප්‍රවර්ධන කටයුතු වෙනුවෙන් ගිවිසගෙන සිටින්නේ සැමියා අභිෂේක් සමගය. ඉන්දියාවේ සුපිරිම තරු යුවළ ලෙස සඳහන් වන්නේ ද ‘ඓශ් සහ අභිෂේක්’ යුවළය. 
 
මීට දසවසරකට පමණ පෙරදි මහාරාශ්ට්‍රයේ සුළංබල ව්‍යාපෘතියකට ඇය මුදල් ආයෝජනය කළ බැව් සඳහන් වේ. මෑතකදී පොසිබල් නම් පෝෂණය පදනම් කරගත් සෞඛ්‍ය සේවාවක් සඳහා ඉන්දීය රුපියල් කෝටි පහක් පමණ ආයෝජනය කළේ යැයි සඳහන් විණි. පරිසරය හා සම්බන්ධව කටයුතු කර ‘අම්බී’ සමාගම වෙනුවෙන් ද ඇය ආයෝජනය කළේ යැයි වාණිජ පුවත් වාර්තා කර තිබිණි. පොසිබල් යනු සෞඛ්‍ය සම්පන්න පෝෂ්‍යද‌ායි නිෂ්පාදන අන්තර්ජාලය ඔස්සේ අලෙවි කරන ආයතනයකි. ‘අම්බී’ යනු විවිධ අංශ ඔස්සේ අන්තර්ජාල තාක්ෂණය හා සම්බන්ධ සමාගමකි. UNAID හි සුහද තානාපතිවරියක ලෙස ද ඇය කටයුතු කරන්නේ සමාජ සේවිකාවක ලෙස සිදුකරනු ලබන බොහෝ සත්කාරක සේවා නිසාය.
 
ඓශ්චර්යාගේ සැමියා අභිෂේක් යනු රංගනයට වඩා ඔහුගේ ව්‍යාපාර වෙතින් විශාල ධනයක් උපයන පුද්ගලයෙකි. 2020 දී ඩොලර් මිලියන 30 ක ශුද්ධ වත්කමක් ඒවායින් ඔහු සතු යැයි වාර්තාවල සඳහන් විය. සැමියාට වඩා ඓශ්වර්යාගේ වත්කම වැඩි බව වාර්තාවල සඳහන් වේ. ඇයගේ දළ වත්කම ඩොලර් මිලියන 100 ක් ලෙස 2021 දී වාර්තාවල සඳහන් විය. 2021 තවත් වාර්තාවක සඳහන් වූයේ එය ඩොලර් මිලියන 31 ක් ලෙසය. නමුත් ඔවුන් සතු මහා ධනස්කන්දය ගැන දන්නේ ඔවුන්ම පමණක්ය.
 
බැලූ බැල්මට ඓශ්වර්යා කවුද?

ලෝ ප්‍රකට ප්‍රංශයේ කෑන්ස් (කාන්ස්) සිනමා උළෙල ගැන ඔබා අසා ඇති. වතාවක එම සිනමා උළෙලේ ජූරියට ඇය ඇතුළත් විය. එම උළෙල වෙනුවෙන් ඉන්දියාවෙන් මෙතෙක් (2021) දක්වා ජූරියට තෝරාගත් ප්‍රථම හා එකම තරු නිළි චරිතය වන්නේ ඇයයි. ලෝ ප්‍රකට ඉටි රූ මූර්ති කෞතුකාගාරයක් වන මැඩම් මුසාඩ්හි ඓශ්වර්යාගේ රූපයක් ඇත. එහි එලෙසින් ඉටි රූ ප්‍රතිමා නිර්මාණය වන්නේ ලෝ ප්‍රකට තරු චරිතවල පමණකි. ලෝකයේ වඩාත් ජනප්‍රිය සහ ප්‍රකට ටෙලිවිෂන් සම්මුඛ සාකච්ඡා වැඩසටහන වන්නේ ‘ඔප්රා වින්ෆ්‍රි’ ගෙන එන වැඩසටහනය. එහි ලෝකය තරණය කළ කාන්තාව ගැන විශේෂාංගයට එක්වූ ඇය ඔප්රා වින්ෆ්‍රි ගේ ‘ද ඔප්රා වින්ෆ්‍රි ෂෝ’ වැඩසටහන සඳහා දෙවරක්ම සහභාගි වීමට වරම් ලද තරු චරිතයකි. දැන් ඇය පසුවන්නේ 47 වැනි වියේය. එහෙත් හතළිහ පසුකළ ඓශ්චර්යා ගැන නිව්යෝර්ක් මැගසින් දර්ශකයට අනුව සඳහන් කර තිබුණේ ලොව ලස්සනම කාන්තාවන් 40 අතරේ 21 වැනි තැන ඇයට ලබා දෙමිනි. ‘ඇය තමයි ලෝකයේ ලස්සනම’ කාන්තාව යැයි වතාවක එම මැගසිනයම සඳහන් කර තිබිණි. 2010 දී ටයිම්ස් ඔෆ් ඉන්දියා සඳහන් කර තිබුණේ ප්‍රියතම කාන්තාවන් කිහිප දෙනෙක් අතරින් රායි 2 වැනියා ලෙසය.
 
‘ඓශ්’ හෙවත් ‘අයිෂ්’ ගේ නමින් නෙදර්ලන්තයේ 'keukenhof' උද්‍යානයේ ටියුලිප් මල් වර්ගයකට ඓශ්වර්යා රායි යන නම තබා ඇත. බොහෝ රසිකයින් ඓශ්වර්යා අමතන්නේ ආශ්. අයිෂ් යනුවෙනි. එහෙත් කිසිවිටෙකත් තමාගේ සැබෑ නමින් ආමන්ත්‍රණය කිරීම් හැර වෙනත් කෙටි නාමයන්ගෙන් අමතනවාට ඇය අකමැතිය. නමුත් ‘ගුල්ලු’ (Gullu) යනු ඇයගේ අන්වර්ථ නාමය ලෙස හැඳින් වේ.
 
ඓශ්චර්යාගේ පියා මියගියේ 2017 වසරේදීය. 2009 වස​රේදී තම දියණිය ඉන්දීය රජය විසින් ගෞරවණීය පුරවැසියකු ලෙස සලකා පද්ම ශ්‍රී සම්මානයෙන් පිදුම් ලැබීමේ අවස්ථාව දැක ගැනීමට තරම් ක්‍රිෂ්ණාරාජා වාසනාවන්ත විය. ඒ විතරක් නොවේ ප්‍රංශ රජයෙන් ද ඇය ඉහළම ගෞරවයට පාත්‍ර වූයේ 2012 වසරේදීය. එලෙසින් දරුවන් ගෞරවණීය වීම මව්පියන් හට මොන තරම් සතුටක්ද ඓශ්වර්යාගේ පියා මිය යන්නට ඇත්තේ ආඩම්බරකාර පියකු ලෙසම විය හැකිය.
 
ඓශ්වර්යා සහ අභිෂේක් යුවළගේ දියණිය ‘ආරධ්‍යා’ උපත ලැබුවේ 2011 නොවැම්බර් 16 ද‌ාය. පසුගිය වසරේදී (2020) මේ සුරූපී මව සහ දියණිය හට ‘කොවිඩ්’ උත්සන්න වීම නිසා රෝහල්ගත වීමට පවා සිදුවිණි. දින 10 ක් පමණ මේ දෙදෙනා හට රෝහල් ගතව ප්‍රතිකාර ගත් බව සඳහන් වේ.
 
‘ඓශ්චර්යාගේ’ මුහුණ වඩාත්ම ලස්සන වීම ඇයගේ කොළපාට ඇස් නිසා යැයි කිව හැකිය. කොළට හුරු නිල් පාටක් යැයි කීම නිවැරදිය. ඒ ඇස් දිහා පැය 24 ම වුවද බලා සිටිය හැකියැයි බොහෝ දෙනා පවසන්නකි. මේ නිසා කිසි විටෙකත් ඇය හට පාට අක්ෂි කාච දැමීමට අවශ්‍ය නොවේ. ඇය ලස්සන වීම උදෙසා ප්ලාස්ටික් සැත්කම් හෝ රූපලාවන්‍ය කිසිවක් කර නැත. එහෙත් ස්වභාවිකත්වයට නතු වූ දේ විශේෂයෙන්ම පිරිසිදු ජලය පානය කිරීම සහ ස්වභාවිකත්වයට වඩාත් සමීප වූ ආහාරපාන රටාවකට යොමුව සිටීම නිසා ඇයගේ රූ සපුව දිනෙන් දින තාරුණ්‍යයේ පෙනුමක් ගනී. කෙසේ වුවද ඒ ලස්සනට එහා ගිය ඇගේ හිත ලස්සන යැයි තවත් සමහරු පවසන්නේ බොහෝ සෙයින් සමාජ සත්කාර සඳහා ඇය ද‌ායකත්වය ලබා දීම නිසාය. ආසියාවේ මෙන්ම ලෝකයේ වැඩිම සම්මාන ගොන්නක් මෙන්ම ගෞරව සම්මාන, ඇගැයීම්, නම්බුනාම වැඩියෙන්ම ලැබූ බොලිවුඩ් තරුව ඇයම වන්නීය. එමෙන්ම සමාජ සේවා හා පුණ්‍යාධාර කටයුතු රැසකට ද‌ායක වන නිළි චරිතයද මේ ඓශ්වර්යාමය.
 
පරිවර්තන සටහන - සඳුන් ගමගේ