ආදර සම්බන්ධතාවල ස්වභාවය හිමංශ් ගේ ඇසින්
මේ කාලයේ සමාජ මාධ්‍ය ජාලා තුළ ආදර සම්බන්ධතා, ඒවායේ බිඳ වැටීම්, අනියම් සම්බන්ධතා පිළිබඳ පුවත් ඕනෑවටත් වඩා ගොඩ ගැසී තිබෙන්නේය. විශේෂයෙන්ම නළුනිළියන් ගේ පෞද්ගලික ජීවිතය පිළිබඳව රසිකයන් උනන්දු වන්නේ ඔවුන් තමාගේ සමීපතමයන්යයි හැඟීමක් ඇති බැවිනි. තමන්ගේ පෞද්ගලික ජීවිතය තමන්ටම පමණක් සීමා කර තබා ගන්නා බවට ඇතැම් නළුනිළියෝ පවසති. එහෙත් ඔවුන් කරන්නේ නොයෙකුත් ඉඟි, හෝඩුවාවන්, ඡායාරූප පළ කරමින් රසිකයන්ගේ කුතුහලය ඇවිස්සීමය.
“ඇත්තටම ජනප්‍රිය පුද්ගලයන්ට තමන්ගෙ පෞද්ගලික ජීවිතේ එහෙම පිටින්ම හංගාගෙන ඉන්න පුළුවන්කමක් නෑ.. විශේෂයෙන්ම ආදර සම්බන්ධතා හංගාගෙන ඉන්න එක ලේසි දෙයක් නෙමෙයි.. ඒත් මම එහෙම කරලා තියෙනවා.. මගෙ පෙම්වතිය කවුද කියලා ඉඟියක්වත් නොදී ඉන්න මට පුළුවන් වෙලා තියෙනවා.. එහෙම ඉන්නකොට ජීවිතේ හරි සරලයි කියලයි මම හිතන්නෙ.. මගේ සම්බන්ධය ගැන ලෝකෙම දැන ගත්තම හැම පුංචි දෙයක් ගැනම ලොකු අවධානයක් යොමු කරන්න වෙනවා.. එතකොට රසිකයන් ගැන සැළකිලිමත් වෙනවා මිසක් මගෙ පෙම්වතියට සාධාරණයක් ඉටු කරන්න බැරි වෙනවා.. ඒ නිසා ආදර සම්බන්ධතාවය අප්රසිද්ධියේ පවත්වගෙන යාමේ වරදක් නෑ.. සමහරු සමාජයට පේන්නට සම්බන්ධතාවය පවත්වාගෙන ගියත් එතන ආදරයක් නෑ.. තියෙන්නෙ ප්‍රසිද්ධියට ඇති කැමැත්ත විතරයි..”
එසේ කියන්නේ හිමාංශ් කෝලිය.
හම්සේ හෑ ලයිෆ් ටෙලි නාට්‍යයේ රාඝව් ඔබරෝයි ගේ චරිතයෙන් රසික සිත් ඇදබැඳ ගත් හිමංශ් හින්දි සිනමාවට පා තැබුවේ 2014 දී යාරියාන් චිත්‍රපටියේ රඟ පාමිනි. කුඩා කල සිටම ඔහු රාජේෂ් ඛන්නාගේ රසිකයෙකු වූයේය. ඔහු තුළ චිත්‍රපටි කෙරෙහි උනන්දුවක් ඇති වූයේ ඒ හරහා බැව් හිමංශ් කියයි. ජීනා ඉසි කා නාම් හෑ, ස්වීටී වෙඩ්ස් එන් ආර් අයි, රාන්චි ඩයරීස්, දිල් ජෝ නා කේ සාකා, අභි නහි තෝ කභි නහි ඔහු රඟ පෑ වෙනත් චිත්‍රපටිය. තවමත් නිෂ්පාදනය වෙමින් පවතින බූන්දි රයිටා චිත්‍රපටියේ ද ඔහු රඟ පාන්නේය.
ඔහු ගේ උපන් දිනය 1989 නොවැම්බර් තුන් වෙනිදාය. මේ වන විට ඔහු ජනමාධ්‍යකරණය පිළිබඳ උපාධිධාරියෙකි. ඔහු පළමුවෙන්ම සේවය කළේ මිර්ච් රේඩියෝ ගුවන් විදුලි ආයතනයේය. ඔහුගේ පෙම්වතිය වූයේ ගායිකා නේහා කාක්කර්ය. 2018 දී ඒ සම්බන්ධතාව බිඳ වැටුණ අතර ඇය රොහාන්ප්රිත් සමඟ විවාහ වූවාය. එහෙත් ඒ පිළිබඳව හිමංශ් අදහස් පළ කරන්නට මැළි කළේය.
“ප්‍රසිද්ධිය ඇතත් නැතත් මොනම තත්වයන් යටතේ වුණත් නියම සම්බන්ධතාවයක් බිඳ වැටෙන්නෙ නෑ කියලයි මම හිතන්නෙ..”
ඔහු කියන්නේය.