අමීර් ඛාන් පළමුවරට සික් ජාතිකයෙකුගේ චරිතය රඟන චිත්‍රපටය
අපි ඔහුව ‘ෆොරස්ට්‘ හෝ ‘ලාල්‘ ලෙස නම් කරමු. යම් ආකාරයක බුද්ධි හීනතාවයකින් පෙළුණද, ඔහු කිසිම විටෙක අධෛර්යමත් වූවෙක් නොවේ. සැමවිටම තමා දිරිමත් කළ සිය ආදරණීය මවගේ උත්සාහයත් ශක්තියත් නිසා දුර්වලයෙක්ය යන හැගීම ඔහුට කිසිම විටෙක නොදැනුණිි. මව ඔහු කිසිම විටෙක පාලනය කිරීමට හෝ කොටු කිරීමට උත්සාහ නොකළ අතර කිසිවෙකින් පසුබට නොවූ ධනාත්මක සිතුවිලිවලින් හෙබි ඔහු කුඩා කල පාසල් පාපන්දු කණ්ඩායමේ දීප්තිමත් තරුවක් විය. තරුණ වියට පත් ඔහු සිය මව්බිම වෙනුවෙන් සටන් කිරීමට අදිටන් කරගත් අතර සටන් බිමේදී පෑ සුරුවිරුකම් හේතුවෙන් විශිෂ්ට සම්මානයන්ගෙන් පිදුම් ලැබීය. මේ සියලූ දක්ෂතා අතර ඔහු මනසින් තවමත් කුඩා දරුවෙකි.
රොබර්ට් සේමකිස් විසින් අධ්‍යක්ෂණය කෙරුණු, ප්‍රවීණ රංගන ශිල්පී ටොම් හැන්ක්ස් චරිත නිරූපණය කළ 1994 වසරේ තිරගත වූ ‘ෆොරස්ට් ගම්ප්‘ ඇමෙරිකානු ප්‍රේමණීය ප්‍රහසන චිත්‍රපටයේ කතා වස්තුව මෙලෙස වේ. ෆොරස්ට් ගම්ප් ඇකඩමි සම්මාන හයක් ඇතුළු සිනමා සම්මාන රාශියකට හිමිකම් කියූ අතර ඉතා ඉහළ වාණිජමය සාර්ථකත්වයක්ද හිමි කර ගත්තේය. චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කළ ටොම් හැන්ක්ස් මෙම චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් හොඳම නළුවාට හිමි ඇකඩමි සම්මානය, ගෝල්ඩන් ග්ලෝබ් සම්මානය ඇතුළු සම්මාන හයක් හිමිකර ගත්තේය.
දශක ගණනාවක ඇවෑමෙන් ෆොරස්ට් ගම්ප් චිත්‍රපටය හින්දි සිනමාවට ප්‍රතිරචනය වී අද්වෙත් චන්දන්ගේ අධ්‍යක්ෂණයෙන් අද (අගෝස්තු 11 වැනිදා) සිට ලොවපුරා තිරගත වීම ඇරඹුණු ‘ලාස් සිං චද්දා‘ ලෙස නම්වී ඇත. හින්දි සිනමාවේ එදා මෙදා තුර වැඩිම ආදායම් ලැබූ ද ආන්දෝලනාත්මක වූ ද චිත්‍රපට බිහි කරමින් ක්ෂේත්රයේ ඉහළම කීර්තියක් හිමි කරගෙන සිටින සුපිරි නළු ආමීර් ඛාන්ගේ නිෂ්පාදන ආයතනය මඟින් නිපදවෙන මෙහි ප්‍රධාන චරිතය ඔහු විසින් නිරූපණය කෙරේ. මෙය ආමීර්ගේ වෘත්තීය ජීවිතයේ පළමු වරට සික් ජාතිකයකු ලෙස චරිත නිරූපණය කිරීමද විශේෂත්වයකි.
ආමීර් සමඟ කරීනා කපූර්, නාග චෛතන්‍ය, මොනා සිං, මානව විජ් ඇතුළු රංගන ශිල්පීන් විසින් සෙසු චරිත රඟ දක්වන මෙහි, පසුබිම් සංගීතය සහ ගීත පිළිවෙළින් ටනුජ් ටිකු සහ ප්‍රීතම් නිර්මාණය කර ඇත. චිත්‍රපට ගීත අමිතාබ් භාට්ටාචාර්යගේ ගී පද රචනාවන්ය. වින්ස්ටන් ග්රූම් නම් ලේඛකයා විසින් රචනය කෙරුණු එනමින් යුත් නවකතාව ඇසුරින් නිර්මාණය කෙරුණු ෆොරස්ට් ගම්ප් චිත්‍රපටයේ කතා වස්තුව හින්දි සිනමාවට නැඟීම සඳහා නොයෙකුත් වෙනස්කම් සිදුකෙරුණු බව කියවේ. මේ කර්තව්‍යයට ලාල් සිං චද්දා හි සම රචකයකු වූ අතුල් කුල්කර්නිට දශකයක පමණ දිගු කාලයක් ගත වී ඇත. එලෙසම ෆොරස්ට් ගම්ප් මෙලෙස ප්‍රතිරචනය කොට සිනමාවට නැඟීමට නීතිමය අයිතිය ලබා ගැනීමට ඔහුට තවත් දශකයක පමණ කාලයක් ගත වී ඇත. කොරෝනා වසංගතයද මෙම චිත්‍රපටයට දැඩි බලපෑමක් එල්ල කළේය. කොරෝනා පළමු රැල්ලෙන් පසු ඉන්දියාවේ පැවති වාතාවරණය හේතුවෙන් එහි ඇතැම් කොටස් රූගත කිරීමට ආමීර් හට තුර්කියට යාමට පවා සිදු විය. ෆොරස්ට් ගම්ප් හි පසුබිම් කාල පරිච්ෙඡ්දය තුළ මෑත කාලීන ඇමෙරිකානු ඉතිහාසයේ සිදු වූ විශේෂ සිද්ධි කිහිපයක්ම ෆොරස්ට් ගේ දෘෂ්ටි කෝණයෙන් සහ ඔහුගේ සහභාගීත්වයෙන් යම් ආකාරයකට විශ්ලේෂණය වන අතර එලෙසම මෑත කාලීන ඉන්දියානු ඉතිහාසයේ සිදුවුණු විශේෂ සිද්ධීන් කිහිපයක් ‘ලාල් සිං චද්දා‘ සමඟ විශ්ලේෂණය වේ.
මෙම චිත්‍රපටය ගැන ඉන්දීය චිත්‍රපට සංස්කාරක මණ්ඩලයේ සිටින සංස්කාරකයකු වන උමයිර් සන්ධු නම් විචාරකයා පවසා ඇත්තේ චිත්‍රපටය ඉතා විශිෂ්ට ගණයේ එකක් බවය. ලාල් සිං චද්දා ප්‍රේක්ෂක හදවත් තුළ සදාකල් රැඳෙන චිත්‍රපටයක් ලෙස නම් කොට ඇති උමයිර් හින්දි චිත්‍රපට ගැන බිඳීගිය විශ්වාසය නැවත ඇති කිරීමට සමත් චිත්‍රපටයක් බවද සිය ට්විටර් ගිණුමේ සටහන් කොට තිබේ. ආමීර් ඛාන්ට සිය රංගනයේ මුහුණ දීමට ලැබුණු අභියෝගාත්මකම චරිතයක් වන ලාල් සිං චද්දා ගේ චරිතය ඔහු මැනවින් නිරූපණය කර ඇති බවත් උමයිර් පවසා ඇත.
යතේජා ඥාණරත්න