අනුන්ගේ කතා වලින් නොසැලී තමන්ගෙ ගමන ගිය ප්‍රියංකා
පීඩාකාරී තත්වයන් යටතේදි තමා වඩාත් හොඳින් ක්‍රියාත්මක වන බවත්, එහෙත් අනුන්ගේ අපේක්ෂාවන් මුදුන්පත් කිරීම උදෙසා තමා පීඩාවට පත් නොවන බවත් ජාත්‍යන්තර නිළි ප්‍රියංකා චොප්රා පවසන්නීය.
හිටපු ලෝක රූ රැජිනක වන ප්‍රියංකා මේ වන විට ඉන්දියාවේ වැඩිම ගෙවීමක් ලබන ජනප්‍රිය නිළියන් අතරින් කෙනෙකු වන අතර ඇය හොලිවුඩ් සිනමාවේත් නම රන්දාගෙන සිටින්නීය. එහෙත් බොහෝ දෙනෙකු කීවේ මේවා ඇයට කරන්නට බැරි දේවල් බවය.
“මිනිස්සු කියන දේවල් ඇහැව්වා නම් අද ප්‍රියංකා චොප්රා කෙනෙක් නෑ..” ඇය කියන්නීය. “ඒත් මම කවුරු මොනවා කිව්වත් නොසැලී මගේ ගමන ගියා.. මම කැමතියි මාව පීඩාවට පත් කර ගන්න.. එතකොට මට ඉතාම හොඳින් වැඩ කරන්න පුළුවන්.. ඒත් අනිත් අය මගෙන් බලාපොරොත්තු වෙන දේවල් පීඩාවක් කර ගන්න මම කැමති නෑ..”
ෆැෂන් චිත්‍රපටියේ චරිතයක් රඟ පාමින් 2008 දී සිනමාවට පිවිසි ඇය ඉනික්බිතිව ආපසු හැරී බැලුවේම නැත. ඇය රඟ පෑ, ප්‍රේක්ෂකයන් මවිතයෙන් ඇළලූ චිත්‍රපටි අතර මේරි කොම්, 7 ඛූන් මාර්ෆ්, බාර්ෆි, කාමිනී, දිල් ධාදක්නේ දෝ, බජිරාවෝ මස්තානි, ද ස්කයි ඊස් පින්ක්, ද වයිට් ටයිගර් ආදිය ද තිබෙන්නේය. ඇය ජාත්‍යන්තර අවධානය දිනා ගත්තේ ක්වාන්ටිකෝ, බේ වොච්, අ කිඩ් ලයික් ජේක්, ඉස්න්ට් ඉට් රොමෑන්ටික්, වී කැන් බී හීරෝස් වැනි හොලිවුඩ් චිත්‍රපටි තුළිනි. දෙසැම්බර් 22 දා සිට තිරගත වන ද මැට්රික්ස් රෙසරෙක්ෂන්ස් චිත්‍රපටිය පිළිබඳව ඇය තුළ පමණක් නොව ප්‍රේක්ෂකයන් තුළ ද ඉමහත් බලාපොරොත්තු තිබේ.
“හොලිවුඩ් සිනමාවේ ඒ තරම් දුරක් යන්න මොන විදියේ උපක්‍රමයක් ද යොදා ගත්තෙ..?”
මාධ්‍යවේදියෙක් ප්‍රියංකාගෙන් විමසුවේය.
“මම හැම වෙලාවෙම හිතන්නෙ ජීවිතය කියන්නෙ දුර ගමනක්.. සාර්ථක වීමේ අභිලාෂය ඊටත් වඩා දුර ගමනක් කියලා.. ඒක ඉනිමඟක්.. වරකට එක පඩිය බැගින් ඉහළ නගින්නත් අපිට පුළුවන්.. වරකට පඩි දෙකක් බැගින් පහළට වැටෙන්නත් පුළුවන්.. මම හැම වෙලාවෙම උත්සාහ කළේ පඩියක් ඉහළට නගින්න.. විශේෂයෙන්ම හොලිවුඩ්වලදී මම ඒ ක්‍රමය භාවිතා කළා.. මම ඒ ගමන පටන් ගත්තේ මීට අවුරුදු පහ හයකට ඉස්සර වෙලා..”
ඇය පිළිතුරු දුන්නේ එලෙසිනි.
එහෙත් ඒ ගමන පහසු එකක් වූයේ නැත. නවකයෙකු වශයෙන් හොලිවුඩයට ගිය විටදී තමාට අලුත් චරිත සහ ප්‍රධාන චරිත ලැබෙන ආකාරයට නිෂ්පාදකයන්ගේ, අධ්‍යක්ෂවරුන්ගේ සිත් තුළ හොඳ ප්‍රතිරූපයක් ඇති කරන්නට වෙහෙස විය යුතු වූයේය. ඒ වෙනුවෙන් තමාට ලැබෙන චරිතය ඉතා කැප වීමෙන් හා ඕනෑකමින් කළ යුතු බැව් ඇය වටහා ගත්තාය. එය පහසු කාර්යයක් නොවුණත් ප්‍රියංකා කිසි විටෙකත් පසුබැස්සේ නැත. එම දුෂ්කර ගමනේ සුන්දර ප්‍රතිඵල අද ඇය භුක්ති විඳිමින් සිටින්නීය.
“මම ආව දුර ගැන අද මම ආඩම්බර වෙනවා.. ඒ වගේම මම හැම වෙලාවෙම උත්සාහ කරන්නෙ වෘත්තීය අංශයෙන් මම කරන හැම දෙයක්ම හරියට කරන්න..” ඇය කියන්නීය.
ඇමෙරිකානු පොප් ගායක නික් ජෝනාස් සමඟ විවාහ වී සිටින 39 හැවිරිදි ප්‍රියංකා මේ වසරේ සැමරුවේ ඇගේ තුන් වන විවාහ සංවත්සරයයි.
ඇය කීනු රීව්ස් සමඟ රඟ පෑ මැට්රික්ස් රෙසරෙක්ෂන්ස් ගැන කතා කළේ තෘප්තිමත් හැඟීමෙන් යුතුවය.
“මාස හත අටක්ම මේකෙ රූගත කිරීම් තිබුණා.. ඇත්තටම ඒක හරිම දුෂ්කර කාලයක්.. කොවිඩ් සමයේ පවා අපිට රූගත කිරීම් කරන්න සිද්ද වුණා.. හැබැයි කණ්ඩායම් හැඟීම ඉහළින්ම තිබ්බ හින්දා අපි ඒ අභියෝගය ජය ගත්තා.. ඒ වගේම කීනු රීව්ස්ගෙන් මට ලැබුණ සහයෝගය ඉතාම අගය කළ යුත්තක්.. ඇත්තටම ඒ වගේ දැවැන්ත නිෂ්පාදනයකට දායක වීම ආඩම්බරයක් වුණත් මම හිටියෙ ලොකු චකිතයකින්.. චරිතය ගැන හොඳ හැදෑරීමක් ඇතුව, දෙබස් කටපාඩම් කරගෙන ගියත් මට හිතුණෙම මගෙ රඟපෑම සාර්ථක නෑ කියලමයි.. වාසනාවකට වගේ කීනු මගේ පසුබෑම අඳුනා ගත්තා.. මම හුඟක් හොඳට රඟ පානවා කියලා ඔහු මට ප්‍රශංසා කළා.. අවුරුදු 40 ක් තිස්සෙම හොලිවුඩ් ක්ෂේත්රයේ වැජඹෙන කීනු වැනි නළුවෙකුගෙන් ලැබුණ ඒ ප්‍රශංසාව මට ලොකු දිරියක් වුණා.. ඔහු ඉතාමත් සුන්දර පුද්ගලයෙක්..” ඇය කීවාය.